කොණ්ඩේ යනවට ආලෝක තොප්පියක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 28, 2026

කොණ්ඩේ යනවට ආලෝක තොප්පියක්

හිසකෙස් ගැලවී යෑම සහ තට්ටය පෑදීම සඳහා සාර්ථක විසඳුමක් ලෙස දකුණු කොරියාවේ උසස් විද්‍යා හා තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් විශේෂිත ආලෝක තොප්පියක් නිර්මාණය කර ඇති බව ඔබ දන්නවද?

සාමාන්‍යයෙන් හිසකෙස් වර්ධනය වන මූලික සෛල වයසට යෑමත් සමඟ ඒවායේ ක්‍රියාකාරීත්වය අඩාල වී කෙස් ගැලවී යාම ආරම්භ වෙයි. මෙම නව පර්යේෂණය මඟින් සොයාගෙන ඇත්තේ විශේෂිත ආලෝක කිරණ මඟින් එම සෛල නැවත සක්‍රිය කළ හැකි බවය. 

මෙම උපකරණය සඳහා ‘නියර් ඉන්ෆ්‍රාරෙඩ්’ (Near-infrared) නම් අධෝරක්ත කිරණවලට ආසන්න අතිවිශේෂ ආලෝක පද්ධතියක් භාවිතයට ගැනෙයි. රසායනාගාර පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ, මෙම ආලෝකය මඟින් හිසකෙස් සෛල වයසට යෑමට බලපාන එන්සයිම වර්ගය සියයට 92 කින් පමණ අඩු කරන බවය. 

මෙහි ඇති සුවිශේෂත්වය නැනෝ මීටර් 730 ත් 740 ත් අතර පරාසයක පවතින මෙම ආලෝකය හිසකෙස් නැවත වර්ධනය කරන සෛල උත්තේජනය කිරීමට වඩාත් සුදුසුම මට්ටම වීමය. වර්තමානයේ පවතින ලේසර් ප්‍රතිකාර ක්‍රම මෙන් නොව, මෙම නව ක්‍රමවේදය සඳහා ඉතා තුනී සහ නම්‍යශීලී කාබනික ප්‍රකාශ විමෝචන දියෝඩයක් (OLED) සහිත තාක්ෂණයක් භාවිත කර ඇත. 

 එබැවින්, මෙම ආලෝක පද්ධතිය ඕනෑම කෙනකුගේ හිසට සරිලන පරිදි සකස් කළ හැකි අතර, සාමාන්‍ය තොප්පියක් ලෙස ඉතා සුවපහසු ලෙස පැලඳීමට හැකියාව ඇති බව පැවැසෙයි. 

මෙහිදී හිස් කබල පුරා එක හා සමානව ආලෝකය පැතිරී යන බැවින් ප්‍රතිකාරය වඩාත් ඵලදායී වන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. හිසකෙස් ගැලවී යාම සඳහා දැනට භාවිතා කරන බොහෝ ඖෂධවලින් විවිධ අතුරු ආබාධ ඇති වීමේ අවදානමක් පවතී. 

එසේ වුවත්, මෙම නව ආලෝක ප්‍රතිකාර ක්‍රමය ආරක්ෂිත සහ පහසු විකල්පයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනට රසායනාගාර මට්ටමින් සාර්ථක වී ඇති මෙම උපාංගය, ඉදිරියේදී මිනිසුන් යොදාගෙන සිදුකරන සායනික පරීක්ෂණවලින් පසුව පොදු ජනතාව සඳහා වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව පැවැසෙයි. 

ලුසිත ජයමාන්න 
NDTV ඇසුරිනි

Classified_Ad